ඇනිමෙ අම්මා ...
අගක් මුලක් නොදන්නා වූ සංසාර චක්‍රයේ ඔබ මොබ සැරිසරන පුද්ගලයෙක්ට මෙලොව එලිය දීලා , උස්මහත් කරල , උගන්වලා තමන්ගෙ දරුවා ලෝකෙ හොඳම දරුවා වෙන සිහිනය ඉටු කරගන්න වෙර දරනා අසීමිත ස්නේහයක පුද්ගල සාක්ශිය දෙමව්පියන්...
දෙමව්පියො ගත්තාම අපිට අපේ ජීවිතේ හම්බවෙච්ච වටිනාම වස්තුවක් . අපි අද කොතැනක හරි ඉන්නව නං ඒ සාර්ථකත්වයේ අංශු මාත්‍රයක හෝ වටිනාකමක් ඔවුන්ට අයිතියි. භෞතික වස්තූන්ට ඇලී ගැටී ඉන්නා වූ සමකාලීන සමාජය තුළ මාපිය සෙනෙහසට අබ ඇටයක තරම්වත් වටිනාකමක් ලබා දෙන්නට අසමත් වූ හිස් ලූ ලූ අත දුවන මිනිසා නැරඹිය යුතුම චිත්‍රපටියකි 𝗪𝗼𝗹𝗳 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻...
මා හිතාදර ඇනිමෙ සහෘදයන් සමග අම්මා ගැන වූ මේ විශිෂ්ට සලරුව පිළිබඳ කථිකා කිරීමට මත්තෙන් Wolf Children ගැන නොඇසූ , නොබැලූ මිත්රයින් වෙනුවෙන් Spoiler Alert ! එකක් දීමට කැමැත්තෙමි.
ඔබ තවමත් මේ විශිෂ්ට ඇනිමෙ සිනමාපටිය නොබැලුවා නං අද තමා හොඳම දවස ඒක බලන්න. අම්මා ගැන වූ ඔබ මා දන්නා, නොදන්නා පැතිකඩ ඇනිමෙ ඇසකින් බලා හැඟීම්බර මනසකින් යුතුව ලිපියේ ඉතුරු ටික කියවනු මැනවි ...
.
.
අපේ කතා නායිකාවගෙ ජීවිතය වෙනස් වෙන්නෙ ඇයගෙ විශ්වවිද්‍යාලයේ පන්තිකාමරයක් තුළ ඇය දකින ජීවිතේට අරමුණක් හඹා යන තරුණයෙක් නිසා. දුටු පලමු ක්ශනයෙන්ම හදවතට දැනුනු හැඟීම පසුපස හඹා යන මේ පෘථක්ජන ගැහැනිය නතර වන්නේ ඔහු හා ප්‍රේමයෙන් වෙලී.
ඔහුට යම් රහසක් ඇත ... ඔහු එය සැඟවීමට උත්සාහ දරයි ... ඔහු ඇයට හදවතින්ම ප්‍රේම කරයි ... තවදුරටත් ඒ රහස සැඟවීමට ඔහුට අවශ්‍ය නැත ...
ඒ රහස ඇය කෙසේ භාර ගනීවිද ? ඇය ඔහුව හැර යයි ද ?
නැත . බාහිර ස්වරූපය මත ඇතිවන්නා වූ ප්‍රේමය විනා සාංසාරික නොවන , සැනෙකින් මෙලොව තිබුනාද කියාවත් අපට අමතක වී යන්නා වූ තාවකාලික මායාවකි. ඇයගේ ප්‍රේමය හුදෙක් එවැනි මායාවක් නොවීය . මේ අඩක් වෘක අඩක් මනුශ්‍ය ජීවියා හා සිතින් මෙන්ම ගතින් බැඳෙන්නා වූ ඇය ඔහු වැනිම දරුවන් දෙදෙනෙකුගේ මවක් බවට පත්වන්නීය ...
ජීවිතය යනු දුක සතුට අඩු වැඩිව උරුමවන්නා වූ බාධක පිරි ගමනකි . සැමියාගෙ අකල් අවාසනාවන්ත වියෝවෙන් අලුත උපන් දරු දෙදෙනා සමග ජීවිතයට පා තබන්නත් පෙරම ඇය මෙලොව තනිවූ මවක් බවට පත්වනී ය . දරු දෙදෙනා වෙනුවෙන් දුක් ගැහැට ඉවසා ජීවිතය ඉදිරිය දකින්න වෙර දරනා ඇය මේ සැරසෙන්නෙ මල් ඇතිරූ මාවතක යන්නට නොවේ...
පොත පතේ වෙලී සිට නොසිතූ සිදුවීමකින් ජීවිතය වෙනස් වූ ඇය මානුෂීය හැඟීමක් නොදන්නා වූ විෂඝෝර මේ ලෝකයෙන් ඇගේ අසාමාන්‍ය දරුවන් රැකගන්නට නොපසුබස්නා වීර්යයකින් ද උත්සාහයකින්ද යුක්ත වන්නේය . තමන්ගෙ පැටියා කෙසේ වුවත් උනහපුලු අම්මාට උගේ පැටියා මැනිකකි . එලෙසම ඇයටද ඇගේ අඩක් වෘක අඩක් මිනිස් දරුවන් හැඩ නොකෙරූ මැණික් ගල් දෙකකි .
ඇයේ මේ උත්සාහය ඔවුන් දෙදෙනා දිස්නෙ දෙන ,හැඩ කෙරූ මැනික් බවට පත් කිරීමය ..
ඇයට ඊට සමාජයෙන් බාධා රැසකි . කුමක් කරන්නද ? නොගැලපෙන තැනක සිටීමට වඩා ගැලපෙන තැනක් සිටීම වඩා උචිතය. දරුවන් වෙනුවෙන් සියල්ල හැරදා ඔවුන්ව හදාවඩාගන්න සුදුසු පරිසරයකට ඇය යන්නී ය .
කෙළිදෙලෙන් ගෙවෙනා අපූරු ළමා කාලය මේ අක්කා මල්ලි දෙපලට නං පියා අහිමි මුත් ඔහුගෙ අහිමි ස්නේහයටත් අඩු පාඩු පුරවන මවගෙන් නොමසුරුව වටිනාකමක් ලැබෙන්නේ ය . ඔවුන් තාම නොමේරු අහිංසක සිඟිත්තන් . ජීවිතයේ බරක් පතලක් ඔවුන්ට නොවැටහේ . මව විඳිනා දුක හඳුනාගැනීමට සෙල්ලමට බර වූ ජීවිතය ඔවුන්ට ඉඩ සලසා නොදෙයි . නමුත් අම්මා නම් වූ උතුම් ගැහැනිය මේ සියල්ල ඉවසා දරා දරුවන් උස්මහත් කරයි ...
දරුවන් මුල සිට ඇති දැඩි විය යුත්තේ ඔවුනට ගැලපෙන සුන්දර වටපිටාවක් තුල ය . මේ අම්මා සහ දරු දෙපලට නං අලුත් තැනේ වටපිටාව ඒ තරමටම හිතට අල්ලා ගොසින් ය . සුන්දර සිතිවිලි තිබෙන තැන් වලට සුන්දර සිතිවිලි එකතු වන්නාක් මෙන් ඔවුනගේ වටපිටාවට එකා පිට එකා අලුත් මුහුනු එකතු වන්නට පටන් ගනී . ඔවුන් මොවුන් හා මිතුරු වෙමින් එකිනෙකා වැලඳ ගන්නට වෙර දරයි . එය මේ තනිකඩ මවට මහත් අස්වැසිල්ලකි .
අක්කා සෙල්ලමට බරයි . නමුත් මල්ලි ඉවසනසුලු චරිතයක් . අක්කට අවශ්‍ය වෘකයෙක් වෙන්න . මල්ලිට අවශ්‍ය මනුස්සයෙක් වෙන්නෙ . ළමා හැඟීම් එහෙමටම තියෙයි ද හැමදාම ?
ඔබට එක වසරෙදි ලෝකෙ හොඳම මනුස්සයා වෙන්න , ස්පයිඩර් මෑන් , බැට්මෑන් වෙන්න ආසාවක් තිබුනා මතක ද ? 11 ට 12 ට එනකොට ඉන්ජිනේරුවෙක් , දොස්තර කෙනෙක් වෙන්න ඔලුව වෙනස් උනා මතක ද ? එහෙම තිබ්බ හීන තාමටත් එහෙම වළංගු ද ?
මේ අක්කා මලෝටත් එහෙමයි . වයස මුහුකුරා යාමත් සමග ඔවුන්ගේ බලාපොරොත්තු ද වෙනස් මුහුනුවරක් ගන්නේ ය . අක්කාට තවත් වෘකයෙක් වීමට අවශ්‍ය නැත . ඇයට අවශ්‍ය මනුෂ්‍ය දුවක් වීමටයි . මල්ලීට කැලයෙන් අලුත් යහලුවන් හමු වී අවසන් . ඔහු කැලය ප්‍රිය කරයි . ඔහුට දැන් අවශ්‍ය වෘකයෙක් වීමටයි .
මේ මව ඇයගේ දරුවන්ගේ මේ වෙනස් වීම් වලට මවක් ලෙස කෙසේ මුහුණ දෙයි ද ?
මුලින්ම දරුවන් දෙදෙනා ලොවින් සඟවා දිවි ගෙවන ඇය කල් යත්ම එලෙස සැමදා ජීවත්විය නොහැකි බව වටහා ගනී. ලොවක් දිනන්නට පලමු අඩිය තියන්නා වූ දරුවන් දෙදෙනා ඒ යන මාවත දිහා මුදිතාවෙන් ඇය බලාසිටින්නී ය .
බොහෝ කල් ගොසින් ය . දරුවන් දැන් සිතන පතන විදිහ වෙනස් ය . මේ කුරුලු පැටවුන් දැන් අත් තටු විහිදා පියාඹන්න වෙර දරයි . ඒ නුදුරු අනාගතයේ මේ කුරුලු කැදැල්ල හැරදා යාමේ අභිලාෂය ඇතුවය .
ස්වාමියා අහිමි මේ මව දරුවන් දෙදෙනාට ඇගෙන් වෙන්වීමට ඉඩ දෙයි ද ?
මල්ලී දැන් හරි දඩබ්බරයි . ඔහු දැන් ස්වාධීනයි . ඔහුගේ හිත දැන් වනය තුළමයි . ඔහු ඔහුගෙ ඉදිරිය එය තුළ දකී . මව ඊට කැමති වෙයි ද ?
දාරක ස්නේහයෙන් බැඳුනු ඇය තමන්ගෙ කුඩා දරුවා සිර කර තබයි . නමුත් ගතානුගතිකත්වය සහ නූතනත්වය කියන්නෙ එකට පෑහෙන දෙයක් නෙමෙයි . එය එකට පෑහුනා නං සිංහබාහු කෙදිනකවත් ගල්ලෙනේ ලෙන්දොර බිඳ ලෝකය දකින්නට වෙර නොදරනු ඇත .
අවසානයට හෝ ඒ බව වටහා ගන්නා ඇය
දැන් උපේක්ඛාවෙන් යුක්තයි . ඇයට තවත් ඇලීමක් ගැටීමක් නැහැ . ඔවුන්ට ඔවුන්ගේ දෑසින් ලෝකය දකින්නට ඉඩ දිය යුතු බව ඇය වටහාගෙන අවසන් .
මල්ලී දැන් කැලේ රජාය . අක්කාත් දැන් වැඩිමහල් දැරිවියක් . ඇයත් දැන් ලෝකයට එකතු විය යුතුයි .
ඉතින් අම්මා නම් වූ ඇය මේ කුරුලු කූඩුවේ දොර විවර කර ඇගේ දරුවන්ට ලෝකෙට යාමට ඉඩ හරින්නී ය ..
මේ සිනමා නිර්මාණය හුදෙක් අයෙක්ට වෘක දරුවන් දෙදෙනෙක් හදා වඩා ගන්නා මවකගේ කතාව ලෙස පිටතින් පෙනෙනවා නොඅනුමානය . නමුත් මදක් විමසිල්ලෙන් බැලූ කළ මේ කතාව අපේම මව් පියන්ගේ කතාව නොවේ ද යන්න සිතා බැලීම ඔබට භාරය...
ඔබත් මමත් මේ මුළු ලෝකයත් දන්නා අම්මා නම් වූ උතුම් කාන්තාවගේ භූමිකාව Wolf Children සලරුවෙන් මනාවට පෙන්වයි . බුදුරජාණන්වහන්සේගේ දේශනාව අනුව මව්පියන් ගුණයන් හතරකින් යුක්තයි . මෙත්තාව හෙවත් තමන්ගෙ දරුවන්ට මෛත්‍රී කිරීම . කරුණාව හෙවත් ආදරය , දයාව දැක්වීම , මුදිතාව හෙවත් ඔවුන්ගේ සැපතේදී සතුටු වීම , අවසාන වශයෙන් උපේක්ඛාව හෙවත් කම්පා නොවීම . සතර බ්‍රහ්ම විහරණ වලින් දිවිගෙවන දෙමාපියෝ බ්‍රහ්ම ලොව ඉපදීමටත් සුදුසුකම් ලබන බව උන්වහන්සේ දේශනා කළා.
ඉතින් හනා නම් වූ ඒ ප්‍රබන්ධාත්මක උතුම් මව මායාවක අතරමං වූ සැබෑ ලෝකයට අගනා පාඩම් කිහිපයක් උගන්වයි . ඒවා කොපමන තමන් තමන්ට සමීප කරගන්නවාද යන්න තමන්ටම භාර දෙයකි .
මේ ලිඛිත ශෛලියට මා ලියන පලමු ලිපිය මෙයයි . සමහර අයට එය ඒ ආකාරයෙන් වැලඳගන්න නොහැකි වූවා නං මට කමා කරන්න.
නමුත් Wolf children තුළ අම්මා කෙනෙකුගේ භූමිකාව දුටු මා කඳුලුපිරි දෙනෙතින් ලියන මේ මාතෲ වර්ණනාව ඔයාලට හැඟීම්බර , හදවතට ස්පර්ශවන වචන පෙළක් උනා නං මා ඉන් වෙනින් සතුටක් නොලබමි ...
කුරිරු සමකාලීන සමාජය තුළ මව පියා මහලු මඩමට දමනා , බලු කූඩුවට දමනා කළ ගුණ නොදත් කුරිරු මිනිසෙකු නොවී ආදරය දයාව පිරි උතුම් මිනිසෙක් වෙන්න Wolf children ඇනිමෙ සලරුව , බලන්නාට මහත් උපකාරයක් වේවා කියා මා ප්‍රාර්තනා කරනව...
Official Trailer - 2
Comments
Post a Comment