ජපන් භාෂාවේ ඉතිහාසය - 日本語の歴史



හයි ගයිස්, こんにちは

අද ගෙනාපු ලිපිය නම් ප්‍රධාන වශයෙන්ම ඇනිමේ හෝ මන්ගා ගැන නොවේ. අද ගෙනාපු ලිපියේ අපි කතා කරන්නේ ඇනිමේ සහ මන්ගාවලින් සඳ ලප සේ වෙන් කිරිමට බැරි දෙයක් ගැන.  ඒ තමා අපිට නිතර නිතර ඇනිමේ සහ මන්ගා බලද්දි සහ කියවද්දි, ඇහෙන සහ බැලෙන ජපන් භාෂාව නැත්නම් අපි ජපන්වලින්ම හැදින්වුවහොතින් 日本語(නිහොන්ගො) ගැනයි. 

මෙම "නිහොන්ගො" නම් භාෂාව ඇති වුනේ කෙසේද ?  
අතීතයේ මෙම භාෂාව පාවිච්චි වු ආකාරය සහ දැන් වෙද්දි එම භාෂාවේ ඇති වී ඇති වෙනස්කම් මොනොවද ?  එන්න ඒ වගේ දේවල් ගැන තමා අපි මේ ලිපියේ කතා කරන්න යන්නේ.

බොහෝ අයට යම්කිසි භාෂාවක් ඉගෙනගන්නා විට අමතක වෙන දෙයක් තමා එම භාෂාවේ ඉතිහාසය සහ එම භාෂාව පාවිච්චි කරන ජන කොට්ඨාශයේ සංස්කෘතිය ගැන හැදැරිම...... කොහොමත් භාෂාවේ ඉතිහාසය සහ එම භාෂාව පාවිච්චි කරන ජන කොට්ඨාශයේ සංස්කෘතිය ගැන ඉගෙනගැනිම අනවශ්‍යයි. එහෙම ඉගෙනගත්තා කියලා ඔයාට ඒ භාෂාව පුළුවන් වෙන්නෙත් නෑ  ඒත් ඔයා ඒ භාෂාවේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන දැනගත්තොතින් ඔයාට තේරෙයි ඇයි එම භාෂාවේ වචන සහ ඒවායින් සැදෙන වාක්‍ය එසේ පාවිච්චි කරන්නේ කියලා. 

"ඒත් අඩේ..... මට එච්චර වේලාවක් නෑ එහෙම භාෂාවක ඉතිහාසයයි සංස්කෘතියයි ගැන හොයන්න. ඊට වඩා හොදයි ඒ කාලය පාවිච්චි කරලා ඒ භාෂාව ඉගෙනගත්තොතින්" කියලා ඔයා තර්කයක් ගෙනාවොතින් ඒ කතාවේ සාධාරණත්වයකුත් තියෙනවා. නෑ කියලා කියන්නෙත් නෑ. ඉතින් ඒකට විසදුමක් ලෙස තමා අපි මේ ලිපිය ලිව්වෙත්.  මේ ලිපියේ අපි පුළුවන් තරම් ජපන් භාෂාවේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සාරාංශගත කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔයාට අපි ඒ වැඩේ ලේසි කරලා තියෙන්නේ. 

ඔයාට ඒ වැඩේ තවත් ලේසි කරන්න ඕනේ නම් ඔයා ජපන් භාෂාව ගැන යම්කිසි දැනුමක් අත් කරගන්න ඕනේ. ඒ වැඩෙත් ඔයාට ලේසි කරන්න කියලා තමා අපේ World of Anime සහ NFSL එක්තු වෙලා ඔයාට Language Learning Platform එකකුත් හදලා තියෙන්නේ.  
ඒ Language Learning Platform එකට බැදෙන්න කැමති නම්,


එහෙනම් ආයේ වැඩිපුර විස්තර කියන්නැතුව අපි මේ "නිහොන්ගො"/日本語 නම් භාෂාවේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන බලමු නේ.

ජපානයේ ඉතිහාසය මුලින්ම පටන් ගන්නේ ඓතිහාසික "ජොමොන්" (Jomon People/縄文人) මිනිසුන් නම් ජන කොට්ඨාශයකිනි. එම ජන කොට්ඨාශය ක්‍රි.පු. 14000 සිට ජපානයේ වෙසු අතර එම ජන කොට්ඨාශයේ ප්‍රධාන ජීවිකාව වුයේ දඩයම් කිරිමයි. ඒ කාලේම වගේ තමා අපේ රටේ බලංගොඩ මානවයා වුනත් දඩයම්කාරයෝ ලෙස සිටියේ. පසු කාලයකදි වර්තමාන කොරියාව, චීනය සහ තායිවානය වැනි රටවල්වලින් තවත් ජන කොට්ඨාශයක් ජපානයට සංක්‍රමණය වුනා. එම ජන කොට්ඨාශයේ නම වුයේ "යායොයි" (Yayoi People/弥生人) නම් ජන කොට්ඨාශයක් (Yaoi එහෙම නෙවෙයි ඈ....."Yayoi"). එම යායොයි මිනිසුන් ක්‍රි.පු. 300දී ජපානයට සංක්‍රමණය වු අතර ඔවුන්ගේ ප්‍රධාන ජිවීකාව වුයේ ගොවිතැන් කිරිමයි . එතකොට දැන් ජපානයේ ප්‍රධාන ජන කොට්ඨාස 2ක් ඉන්නවා.  ඒ තමා ක්‍රි.පු. 14000 සිට ජපානයේ සිටි ජොමොන් මිනිසුන් සහ ක්‍රි.පු. 300 සිට ජපානය ඔවුන්ගේ වාසස්ථානය ලෙස ස්ථාපිත කරගත් යායොයි මිනිසුන්.

මෙම යායොයි සහ ජොමොන් නම් ජන කොට්ඨාස දෙක පාවිච්චි කරපු භාෂාව හෝ භාෂා අද වන තෙක් අප කිසි කෙනෙකුවත් නොදනිමු එහෙත් ක්‍රි.ව. 300 වන විට මෙම ජන කොට්ඨාස දෙකම ක්ෂිණ වී ගොස් එම ජන කොට්ඨාස දෙකෙන් ජපානයේ අලුත් ජාතින් 3ක් බිහිවෙනවා.  (නිකන් අපේ රටේ යක්ෂ, නාග සහ දේව ගෝත්‍රත් ක්ෂිණ වී ගිහින් සිංහල, වැදි සහ ශ්‍රි ලාංකීය දෙමළ කියලා ජාතින් 3ක් නිර්මාණය වුනා වගේමයි)

ජපානයේ එසේ අලුතින් බිහි වු ජාතින් 3 වන්නේ යාමාටො ජාතිය (大和民族), රියු-ක්‍යුවැන් ජාතිය (琉球民族) සහ අයිනු ජාතියයි (アイヌ民族). අදටත් මෙම ජාතින් තුන ජපානයේ වෙසෙන අතර යාමාටො ජාතිය ජපානයේ මහා ජාතිය වන අතර ඔවුන් අදට ජපානයේ මිලියන 124ක පමණ ජනගහනයක් වෙසේ. රියු-ක්‍යුවැන් ජාතිය අදට මිලියන 2.2ක පමණ ජනගහනයක් ජපානයේ වෙසෙන අතර අයිනු ජාතියේ ජනගහනය අද වන විට 200,000ක් පමණ වේ. 

අයිනු ජාතිය අයිනු භාෂාව නමින් භාෂාවක් පාවිච්චි කරන අතර රියු-ක්‍යුවැන් ජාතිය රියු-ක්‍යුවැන් භාෂාව නැතහොත් ඔකිනාවා භාෂාව නමින් භාෂාවකුත් පාවිච්චි කරනවා. එහෙනම් මේ ජපානයේ මහා ජාතිය වන යාමාටො ජාතිය නැතහොත් "වා ජාතිය (わ民族)" පාවිච්චි කරන භාෂාව මොකද්ද?  
එන්න ඒ භාෂාව තමා අපි අද කාලේ ජපන් භාෂාව නැත්නම් නිහොන්ගො(日本語) කියලා හදුන්වන්නේ. 

මෙම ජපන්/නිහොන්ගො භාෂාව (日本語), රියු-ක්‍යුවැන්/ඔකිනාවා භාෂාව (琉球語) සහ අයිනු භාෂාව (アイヌ語) යන භාෂාවන් 3ම එක්ව ගත් කොට එම භාෂාවන් තුනම ජපන් භාෂා පවුල නැත්නම් Japonic Language Family(日本語族) නම් භාෂා පවුලට වාග් විද්‍යාත්මකව කාණ්ඩගත කරනවා.

ජපන් භාෂා පවුලේ භාෂාවන් ගැන video පටයක් 


අද ඉතින් මේ භාෂා 3න් අපි නිහොන්ගො(日本語) නැත්නම් අපි සාමාන්‍යයෙන් හදුන්වන ජපන් භාෂාව නම් භාෂාව ගැන විතරයි පුළුල් ලෙස කතා කරන්නේ.  ඔයාට ජපන් භාෂා පවුලේ මෙම භාෂා තුන එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් උඩ video එක බලල අදහසක් ගන්න පුළුවන්. 

ඉතින් එහෙම තමා ජපන්/නිහොන්ගො භාෂාවේ උපත ලබන්නේ. එහෙත් එය තාම අද අපි දන්නා ජපන් භාෂාවම නෙවෙයි. ක්‍රි.ව.400 වන විට ජපන් භාෂාව වාචිකව සැදි තිබුණත් එයට තාම Writing System එකක් නැත්නම් අක්ෂර මාලාවක් තිබුනේ නෑ . ඒ නිසා ඒ අයට ඒ අයගේ භාෂාව ලිඛිතව ප්‍රකාශ කිරිමට කිසි දැනුමක් හෝ සිතුවිල්ලක් තිබුනේ නෑ. එහෙත් ක්‍රි.ව. 500 වන විට ජපානයේ විශාල සංස්කෘතික පෙරළියක් වෙනවා. එය තමා ජපානයට බුද්ධාගම හදුන්වා දීමයි. 

ජපානයට බුද්ධාගම හදුන්වා දෙනු ලබන්නේ කොරියාවේ බෙක්ජෙ රාජධානිය (Baekje/百済) නැතහොත් ජපන් භාෂාවෙන් කිව්වොතින් කුදරා (くだら) නම් රාජධානිය විසිනි. මේ වන තෙක් ජපානයේ අදහන ලද ආගම වුයේ ෂින්ටෝ ධර්මය වන අතර එම ධර්මයේ ඔවුන් වන්දනාමාන කරේ ඉසනාගි(伊弉諾尊), සුසානෝ(武塔神), අමතරාත්සු(天照大神), හිරුකෝ නැතහොත් එබිසු(恵比寿) වැනි දෙවිවරුන්ටයි.  පසුව බුද්ධාගම හදුන්වා දුන් පසු ඔවුන් බුදු හාමුදුරුවොන්ටත් සහ පෙර කියු දෙවිවරුන්ටත් වන්දනාමාන කර නිසා ජපානයේ බුදුදහම ෂින්ටෝ ධර්මය සහ මහායාන බුදු ධර්මය යන දෙකේම සමිශ්‍රණයක් වුනා. අද වන විට එම ධර්මයට "සෙන් බුදුදහම" (禅浄) නැතහොත් ජපන් බුදුදහම කියා හදුන්වන අතර ජපානයේ යාමාටො ජාතිය අදටත් වුනත් එය සම්ප්‍රදායික ලෙස අදහන ආගම බවට පත් වෙලා තියෙනවා . මෙම බුදුදහමේදි ජපන් අය නව දෙවිවරුන්ටද වන්දනාමාන කරන්න පටන් ගත් අතර එසේ අලුතින් වන්දනාමාන කළ දෙවි කෙනෙකු ලෙස ලංකාව කාලයක් පාලනය කළ කුබේර රජු නැතහොත් බිෂාමොන් (毘沙門天) වුනත් ඇතුළත් වෙනවා. වර්තමානය වන විට ජපන් අය කුබේර නැතහොත් බිෂාමොන් බුදුදහමේ ආරක්ෂක දෙවි (Guardian God of Buddhism) හැටියටත් සලකනවා. 

ඉතින් කොරියාව විසින් බුදුදහම ජපානයට හදුන්වා දුන් නිසා ජපන් අයට බුදුදහම ගැන ලොකු කුතුහලයක් ඇති වුනා. එතකොට තමා ඒ අයට චීන භාෂාවෙන් ලියන ලද බුද්ධාගම ගැන ලේඛනය වී ඇති ලියවිලි හම්බුනේ.  කොරියාවේ කොරියානු භාෂාවට වුනත් මේ වන විට හරි ආකාරයේ අක්ෂර මාලාවක් තිබුන් නැති නිසා ඒ අය වුනත් ඒ වන විට හන්ජා (Hanja/한자) නැතහොත් චීන අකුරු තමා පාවිච්චි කරේ ඒ අයගේ කොරියානු භාෂාව ලියන්න.  ඉතින් ජපන් අයත් මේ අකුරු ජාතියම පාවිච්චි කරලා ඒ අයගේ ජපන් බුදුදහමට අදාල ලියවිලි ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ අක්ෂර මාලාවෙන් තමා ජපන් අය පළවෙනියටම ලියන්න පටන් ගත්තේ.  අද වන විට එම අක්ෂර මාලාවට කන්ජි(Kanji/漢字) ලෙස හදුන්වන අතර එම අකුරු කොරියාවේ හන්ජා අකුරු සහ චීනයේ මැන්ඩරින් අකුරුවලට හා එම අකුරුවල තේරුම්වලට සමාන වුවත් ඒවාහි රටින් රටට උච්චාරණය කරන ආකාරය නැතහොත් Pronunciation එක හොදටම වෙනස්.

ඉතින් මේ අය මේ කන්ජි(漢字) නැත්නම් චීන අකුරු පාවිච්චි කරලා ඒ අයගේ ජපන් භාෂාව ලියද්දි ඒ කට්ටිය චීන භාෂාවෙන්වුත් එක්තරා ආකාරයේ ශබ්ද වර්ග ඒ අයගේ ශබ්ද කෝෂයට එකතු කරගත්තා.  ඒ අය එවැනි එකිනෙකට වෙනස් අක්ෂර 88ක් පාවිච්චි කළ අතර එම ක්‍රමය "මන්යෝගනා(万葉仮名)" කියලා ඔවුන් හැදින්වුවා.

එහෙත් මෙම මන්යොගනා ක්‍රමය පාවිච්චියෙන් ජපන් කන්බුන්(漢文) ක්‍රමයටත් ලියු නිසා එතැනදී එක එක ආකාරයේ ප්‍රශ්න මතු වුනා.  ඉන් එක් ප්‍රශ්නයක් වන්නේ ජපන් භාෂාවෙන් වාක්‍ය ලියන ආකාරයයි. ජපන් භාෂාව අදටත් වුනත් ඔවුන්ගේ වාක්‍ය වාචිකව හා ලිඛිතව පාවිච්චි කරන්නේ SOV ක්‍රමයට නැතහොත් Subject-Object-Verb ක්‍රමයටයි. 

මෙම SOV ක්‍රමයට අනුව වාක්‍යයක "කර්තෘ(Subject)" මුලින් ඇවිල්ලා පසුව "කර්මය(Object)" ලියලා අවසානයට "ආඛ්‍යාතයෙන්(Verb)" වාක්‍යය ඉවර වෙන්න ඕනේ. නිකන් අපේ සිංහල භාෂාව වගේමයි. ඒ කියපු දේ තේරුම් නැත්නම් පල්ලෙහා උදාහරණය බලන්නකෝ.

මම බත් කෑවෙමි = 私はご飯食べる

私は=මම  ご飯=බත්  食べる=කෑවෙමි

ඉහත සිංහල වාක්‍යයයි ජපන් වාක්‍යයයි සංසන්දනය කරොත් ඔය කටිට්යට තේරෙනවා ඇති වාක්‍යයන් දෙකේම ව්‍යුහය එක හා සමානයි කියලා. භාෂා දෙකේම SOV ක්‍රමය තමා අනුගමනය කරන්නේ. "මම" නැතහොත් "私は(වතාෂිවා)" වාක්‍යයේ කර්තෘ වන අතර "බත්" නැතහොත් "ご飯(ගොහන්)" වාක්‍යයේ කර්මය වේ. ඒත් එක්කම වාක්‍යයන් දෙකේම ආඛ්‍යාතය "කෑවෙමි" නැතහොත් "食べる(ටබෙරු)" කියා ඉවර වෙන නිසා වාග් විද්‍යාත්මකව මෙම භාෂා දෙකම SOV ක්‍රමයට පාවිච්චි කරන භාෂා කියලා තහවුරු වෙනවා.

සිංහල සහ ජපන් විතරක්මත් නෙවෙයි. කොරියන් සහ දෙමළ භාෂා වුනත් මේ SOV ක්‍රමයට ලියන්නේ.  ආසියාතික භාෂා බහුතරයක්ම එහෙමයි ඒත් චීන භාෂාව ඒ වගේ නෙවෙයි.

චීන භාෂාව කියන්නේ SVO ක්‍රමයට පාවිච්චි වෙන භාෂාවක් නැතහොත් Subject-Verb-Object ක්‍රමයට පාවිච්චි වෙන භාෂාවක්.  නිකන් අපි දන්න ඉංග්‍රිසි භාෂාව වුනත් ඒ වගේ නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු "මම බත් කෑවෙමි" නැතහොත් "私はご飯食べる(වතාෂිවා ගොහන් ටබෙරු)" උදාහරණයම ඉංග්‍රිසි සහ චීනවලට දාලා බලමුකෝ.

 I ate rice = 我吃了米饭

 I=我   ate=吃了   rice=米饭

පේනවා නේද ඉංග්‍රිසි සහ චීන භාෂාවල වාක්‍ය සැකැස්මයි අපේ සිංහල, ජපන්, දෙමළ සහ කොරියන් භාෂාවල වාක්‍ය සැකැස්මයිවල වෙනස? 

මෙතැනදි "I" නැතහොත් "我(වො)" වාක්‍යයේ කර්තෘ වෙලා වාක්‍යයේ මැදට එන්නේ "ate" නැතහොත් "吃了(චිලෙ)" කියන ආඛ්‍යාතය. ඊට පස්සේ අවසානයට තමා "rice" නැතහොත් "米饭(මීෆන්)" කියන කර්මය එන්නේ.

ඉතින් ජපන් අයට චීනයේ පාවිච්චි වු මේ SVO වාක්‍ය සැකැස්ම හුගක් Confusing නිසා ඒ අය මේ මන්යෝගනා ක්‍රමය සෙමින් සෙමින් අත හරින්න පටන් ගත්තා.  එතකොට ඒ අය මන්යෝගනා ක්‍රමයේ පාවිච්චි කරපු එකිනෙකට වෙනස් අක්ෂර 88 පස්සේ කාලයකදී අක්ෂර 67 දක්වා අඩු වු අතර  චීනය සහ චීන භාෂාවේ බලපෑම නිසා නැවතත් ඒ නැති වුන අක්ෂරවලින් සුළු ප්‍රමාණයක් නැවත එකතු වුනා . ඒත් තව ප්‍රශ්නයක් පැන නැගුණා මෙහෙම ජපන් භාෂාවේ තිබ්බ අක්ෂර 88 ගණන අක්ෂර 67කට අඩු වුන නිසා . ඒ තමා ජපානයේ හාමුදුරුවරුන්ට මෙච්චර කල් පන්සල්වල උච්චාරණය කරපු ගාථා සහ සුත්‍ර ඔවුන්වහන්සේලාට කියවගැනිමට නොහැකි වීම සහ උච්චාරණය කිරිමට නොහැකි වීමයි. 

ඉතින් ජපන් හාමුදුරුවරුන්ට මේ ප්‍රශ්නයත් විසදිමට අවශ්‍ය වූ නිසා ඔවුන්වහන්සේලා හදනවා කුන්යොමි (Kunyomi Reading/訓読み) සහ ඔන්යොමි (Onyomi Reading/音読み) යන කන්ජි අකුරක කියවීම් වර්ග 2 . කන්ජි අකුරක කුන්යොමි කියවීම යනු එම කන්ජි අකුර "ජපන් භාෂාවෙන්" උච්චාරණය කරන ආකාරය වන අතර කන්ජි අකුරක ඔන්යොමි කියවීම යනු එම කන්ජි අකුර "චීන භාෂාවෙන්" උච්චාරණය කරන ආකාරයයි. 

දැන් අපි වුනත් දැකලා හෝ ඇහිලා තියෙනවා නේ අපේ රටේ පන්සල්වල හාමුදුරුවෝ පවා ගාථා සහ සුත්‍ර උච්චාරණය කරන්නේ සිංහලෙන් නොව පාලි භාෂාවෙන් කියලා. ඉතින් ජපානයේ හාමුදුරුවොන්ටත් පවා ඒ අයගේ භාෂාව පාවිච්චි නොකොට විදේශිය භාෂාවකින් එම ගාථා සහ සුත්‍ර උච්චාරණය කිරිමට සිදු වුනා . ජපානයේ පන්සල්වල අදටත් වුනත් ඔවුන්ගේ ගාථා සහ සුත්‍ර ලියලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම කන්ජි නැත්නම් චීන අකුරුවලින්.  ඒ නිසා එම හාමුදුරුවරු එම ගාථා සහ සුත්‍ර එම ආකාරයෙන්ම උච්චාරණය කිරිමට උදෙසා පාවිච්චි කරේ ඔන්යොමි කියවීම් ක්‍රමය නැතහොත් එම කන්ජි අකුරේ චීන භාෂාවෙන් උච්චාරණය කරන ආකාරයයි.

සටහන:
 කන්ජිවල ඔන්යොමි කියවීම්වල පාවිච්චි කරන්නේ චීන භාෂාවෙන් එම අදාල කන්ජි අකුර උච්චාරණය කරන ආකාරය වුවත් එය වර්තමානයේ තිබෙන චීන භාෂාවට වඩා හුගක් හාත්පසින් වෙනස් . මතක තියාගන්න අපි තාම කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5වන සහ 6වන සියවස්වල වගේ. ඒ කාලේ තිබ්බ චීන භාෂාවයි දැන් තියෙන චීන භාෂාවයි හුගක් වෙනස්. අපේ සිංහල වුනත් එහෙම නේ. අපි ඉස්සර පාවිච්චි කරපු උච්චාරණ නෙවෙයි දැන් පාවිච්චි කරන්නේ. ඒ කාලේ ඉදන්ම සිංහල පාවිච්චි කරපු ආකාරය අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට අපේ කෞතුකාගාරවල හම්බෙන පුස් කොළ පොත් එහෙම ලාවට කියවන්න තිබ්බා . මේක නම් ඉතින් හැම භාෂාවකටම වගේ පොදුයි. දැන් කතා කරන සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රිසි හෝ චීන හෝ ජපන් හෝ කොරියන් භාෂා නෙවෙයි ඉස්සරහදී 25වන සියවසේ වගේ පාවිච්චි කරන්නේ. ඒ වෙද්දි හැම භාෂාවක්ම පාහේ වෙනස් වෙනවා ස්වාභාවිකව .

හැබැයි දැන් මේ ඔන්යොමි කියවීම්වලදි ජපන් හාමුදුරුවරුන් පාවිච්චි කරන්නේ චීන භාෂාවෙන් එම කන්ජි අකුර කියවන ආකාරය නිසා එතකොට ඒ අයට වෙනවම චීන භාෂාවම ඉගෙනගන්නත් ඕන වුනාද? 

නෑ. නෑ. ඒකටත් එම හාමුදුරුවරු විසදුමක් හැදුවා . එම හාමුදුරුවරු තේරුම් ගත්තා ජපන් භාෂාව එක අක්ෂර මාලාවක් මත රදා පවතින්න බෑ කියලා . ඒක නිසා ඒ අය තව අක්ෂර මාලාවක් හැදුවා චීන අකුරුවලින්ම එක එක කෑලි පාවිච්චි කරලා. ඒ අක්ෂර මාලාවේ නම තමා අපි අද කටකනා (Katakana/カタカナ) කියලා හදුන්වන්නේ. 

කටකනා අක්ෂර මාලාවෙන් තමා ජපන් අය ඒ අයට හම්බෙන විදේශිය භාෂා වචන ලියන්නේ. මීට උදාහරණ ලෙස අපි නුතන කාලේ බලන ඉංග්‍රිසි නම්වලින් තියෙන ඇනිමේවල පොස්ටර්වල ඒ ඇනිමේවල ජපන්වලින් ලියලා තියෙන නම් බලන්නකෝ.  ඒ ඇනිමේවල නම් ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ කටකනා අක්ෂර. උදාහරණ ලෙස One Piece(ワンピース/වන් පීසු), Steins Gate(シュタインズゲート/ෂුටයින්සු ගේටො), Bleach (ビリーチ/බිරීචි), Dragon Ball (ドラゴンボール/දොරගොන්බෝරු) සහ තව තවත් ඒ වගේ ඇනිමේ ගන්න පුළුවන් .

වර්තමානයේ අපේ නම් වුනත් ("අපේ නම්" කියා හැදින්වුවේ ජපන් අයගේ නම් හැරුණු කොට ජපානයෙන් පිට ජිවත් වන හෝ ඉපදුන අයගේ නම් වේ) ලියන්නේ කටකනා අක්ෂර මාලාවෙන් . ඔය කට්ටියට මොන චීන අකුරු පාවිච්චි කරලාද අද තියෙන කටකනා අක්ෂර මාලාව හැදුවේ කියලා බලාගන්න ඕනේ නම් ඒකට පල්ලෙහා  YouTube Video  එක බලන්න. 


 
ඉතින් මේ පන්සල්වල ජපන් හාමුදුරුවරු කටකනා අක්ෂර මාලාව හදලා කාලයක් යත්ම අර අලුතින් සැදු අක්ෂර 67, මුලික අක්ෂර 46ක් දක්වා අඩු වුනා . ඉතින් දැන් අක්ෂර මාලාවේ මුලික අක්ෂර තිබ්බාට වඩා සුළු ප්‍රමාණයක් දැන් ඇති නිසා ජපානයේ හුගක් අයගේ සාක්ෂරතාවත් වැඩි වුනා . හැබැයි එහෙම කියලා හැම එක්කෙනාටම නිදහසේ අකුරු ලියන්න කියලා අයිතියක් තිබ්බේ නෑ.

ඒ කාලේ නීතියක් තිබ්බා "ජපානයේ හාමුදුරුවරුන් සහ ජපන් අධිරාජ්‍යයා සහ ඔහුගේ පවුලත් සමග සබදතා ඇති අයට පමණයි අකුරු ලියන්න පුළුවන්" කියලා . ඒ අය එවැනි දෙයක් කරේ හේතුව ඔවුන් විශ්වාස කරා අකුරු ලිවීම ඉහළ පැලැන්තියේ අයට පමණක් යෝග්‍ය දෙයක් කියලා.  පසු කාලීනව සාමාන්‍ය ජනයාටත් අයිතිය දුන්නා අකුරු ලියන්න. හැබැයි එකම එක කණ්ඩායමකට අයිතිය දුන් නෑ මොනොවත් ලියන්න . ඒ කණ්ඩායම තමා ජපානයේ ඉන්න ස්ත්‍රි ජනගහනය .

ඒකට හේතුව ඇයි කියලා ඇහුවොතින් ඒ කාලේ ජපානයේ විතරක්ම නෙවෙයි ලෝකේ හැමතැනම පාහේ හුගක්ම හුගක් පිතෘ මුලික සමාජ වු නිසා ඒ අය හිතුවා ගැහැණු කෙනෙකුගේ අරමුණු විය යුත්තේ ගේ අතුගාලා ළමයි හදාගෙන බලාගෙන  උයලා කරලා ගෙදරට වෙලා ඉන්න එක විතරයි කියලා. ඔව් ඔව් "මෙය කිසිසේත්ම ලිංගවාදය නොවේ...."

ඉතින් කාන්තා අයිතින් පේන තෙක් මානෙක නැති එවැනි කාලයක ජපානයේ ගැහැණු අය හිතුවා "අපිට අපේ භාෂාව අපේ හෝඩියෙන් ලියන්න බැරි නම් අපි අපේම හෝඩියක් හදාගන්නවා" කියලා . ඉතින් එහෙම ඒ ගැහැණු අය හදපු හෝඩියේ නම තමා අපි අද කාලේ හිරගනා (Hiragana/ひらがな) කියලා හදුන්වන්නේ . හැබැයි ඒ හිරගනා අක්ෂර අපි අද දන්න හිරගනාවලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කාලේ හිරගනා අක්ෂර කොයි වගේද කියලා බලාගන්න කැමති නම් ඒකටත් අදාල YouTube Video එක පහලින් දාන්නන්.



ඉතින් ගැහැණු අය  මෙහෙම හිරගනාවලින් ජපන් භාෂාව ලියද්දි පිරිමි අයටත්  ඒක Notice වෙන්න ලොකු කාලයක් ගියේ නෑ. ඊට පස්සේ පිරිමි අයත් මේ හිරගනා අකුරු ලියන්න පටන් ගත් අතර ඒවා සරල කිරිමට උදෙසා ඒවාත් කටකනා අක්ෂර මාලාව හැදුවා වගේ චීන අකුරුවල එක එක කෑලි අරගෙන අපි අද දන්න හිරගනා අක්ෂර මාලාව හැදුවා . ඒකටත් පාවිච්චි කරපු චීන අකුරු මොනොවද කියලා බලාගන්න කැමති නම් ඒකටත් අදාල YouTube Video එක පහලින දාන්නන්. 



ඉතින් එහෙම තමා අපි අද කාලේ දන්න හිරගනා(Hiragana/ひらがな), කටකනා(Katakana/カタカナ) සහ කන්ජි(Kanji/漢字) යන ජපන් භාෂාවේ අක්ෂර මාලා 3 හැදුනේ . ඉන්පසු ක්‍රි.ව.710 සිට ක්‍රි.ව.794 දක්වා පැවැති නාරා යුගයේදි (Nara Period/奈良時代) ජපන් භාෂාව තව තවත් වැඩි දියුණු වෙද්දි ජපන් භාෂාවට එක එක Particles නැත්නම් නිපාත එකතු වෙන්න පටන් ගත්තා . ඉන් එක් නිපාතයක් වුයේ "ත්සු(つ)" නම් නිපාතයයි. මෙම つ නිපාතය වර්තමානයේදි "නො(の)" නිපාතය ලෙස පාවිච්චි කරත් එය තාමත් සමහර ජපන් වචනවල පේන්න තියෙනවා . ඊට එක් උදාහරණයක් ලෙස "睫 (මත්සුගෙ/まつげ)" නැතහොත් "Eyelashes" යන ඉංග්‍රිසි තේරුම සහ "ඇස් පිහාටු" යන සිංහල තේරුම දෙන වචනය ගන්න පුළුවන්. 

මොකද まつげ/睫(මත්සුගෙ) යන වචනය නිකන්ම සිංහලයට පරිවර්තනය කරොතින් ඒකෙන් කියන්නේ "ඇස්හි රෝම" නැත්නම් ඉංග්‍රිසියෙන් සරලව පරිවර්තනය කරොතින් "Hair of the eye" කියාය . ජපන් නිපාත ගැන දැනුමක් තියෙන අය දන්නවා අපි の(නො) නිපාතය පාවිච්චි කරන්නේ යම්කිසි දෙයකට අයත් වෙන දෙයක් පෙන්වීමටයි. උදාහරණ,

★私の猫 (වතාෂි නො නෙකො/ "මගේ පුසා")
★君の名は (කිමි නො නවා/ "ඔයාගේ නම")
★スリランカの茶 (සුරිරන්කා නො චා/ "ශ්‍රි ලංකාවේ තේ")
★日本語の歴史 (නිහොන්ගො නො රෙකිෂි/ "ජපන් භාෂාවෙහි ඉතිහාසය")

ඉතින් "ඇස්හි රෝම" නැත්නම් "まつげ(මත්සුගෙ)" කියන වචනයට නො(の) නිපාතය දාන් නැත්තේ ඇයි?  ඊට හේතුව ඒ කාලේ ඉදන්ම ජපන් අය まつげ(මත්සුගෙ/睫) කියන වචනය පාවිච්චි කරපු නිසා එහි "つ(ත්සු)" නම් නාරා යුගයේ සිට ජපන් අය පාවිච්චි කරපු නිපාතය අද දක්වාම පැවතගෙන ආ නිසා. 

නාරා යුගයෙන් පසුව ආ හෙයි-අන් යුගයේදි (ක්‍රි.ව.794-ක්‍රි.ව.1185) ජපන් භාෂාව ඉපැරණි ජපන් භාෂාව (Old Japanese/上代日本語) සිට පෙරකාලීන මධ්‍යම ජපන් භාෂාවට (Early Middle Japanese/中古日本語) හැරුණු අතර එම කාලයේම හුගක් චීන වචන ජපන් භාෂාවේ ශබ්ද කෝෂයට එකතු වුනා . එම චීන වචනවලින් එක් උදාහරණයක් ලෙස "スイカ/සුයිකා" නැත්නම් පැණි කොමඩු යන පළතුරට ජපන් භාෂාවෙන් හදුන්වන වචනය දැක්විය හැක. 

සටහන:- "水"(මිසු) නම් කන්ජි අකුරේ තේරුම "ජලය" වෙන අතර එම කන්ජි අකුරෙහි ඔන්යොමි කියවීම වන්නේ "スイ"(සුයි) ලෙසය.  ඉතින් පැණි කොමඩු වගේ "ජලය ඇති පළතුරකට" ඒ අය スイカ(සුයිකා) කියලා කිව්වා. 

හෙයි-අන් යුගයේදි (Heian Period/平安時代) ජපන් භාෂාවට වුන තව වෙනස්කමක් තමයි එයට モーラ(Mora/මෝරා) එකතු වීමයි . ජපන් භාෂාවේ モーラ/Mora (මෝරා) කියන්නේ මොකද්ද කියලා දන් නැත්නම් ඒවායින් තමා ජපන් භාෂාවේ Pitch Accent(平板型) එක හැදෙන්නේ. 

Pitch Accent කියන්නේ මොකද්ද කියලා දන් නැත්නම් ඒක මේ වගේ දෙයක්...... හිතන්නකෝ ඔයා ජපානයේ ඉද්දි එහේ කවුරුහරි ගැහැණු ළමයෙක් ඔයාට පීච්(Peach) ගෙඩි දෙකක් දෙනවා කියලා. ඒ ගැහැණු ළමයාගේ නමත් මිකෝටො(みこと) කියලා කියමුකෝ . මිකෝටො ඔයාට දුන්න පීච් ගෙඩි ඔයා කාලා ඉවර වෙලා "ඔයාගේ පීච් ගෙඩි රහයි" කියලා ඒ මිකොටෝ කියන ගැහැණු ළමයාට කියන්න ඕන වුනා කියමුකෝ. 

දැන් ජපානයේ あなた(අනටා), おまえは(ඔමඑවා) සහ 君は(කිමිවා) වගේ "ඔයා" කියන තේරුම දෙන වචන කෙනෙක් අමතද්දී කතා කරන්න හොද නෑ. හේතුව එහෙම කතා කරොත් ජපන් සංස්කෘතියට අනුව ඔයා ඒ පුද්ගලයාට Rude වෙනවා කියලා ජපන් අය හිතන නිසා . ඒ නිසා ඔයා කවදාහරි ජපානයට ගියොතින් ඔයා දන්න කෙනෙක්ව අමතද්දි ඔයා අනිවාර්යයෙන්ම එයාගේ නමම පාවිච්චි කරලා තමා අමතන්න ඕනේ .

ඉතින් ඉහත උදාහරණය වන "ඔයාගේ පීච් ගෙඩි රහයි" කියන එක අපි "みことさんのもも美味しいです(මිකෝටො සන් නො මොමෝ ඔයිෂී දෙසු) කියලා තමා කියන්න ඕනේ. 

දැන් හැබැයි ඔයාට වැරදිලා "もも"(මොමෝ) නැත්නම් ජපන්වලින් "පීච්" නම් පළතුරට කියන වචනය, "මොමෝ" වෙනුවට "මෝමො" කියලා කියවුනොතින් ඔයා කොල්ලෙක් නම් කෙල්ලගෙන් ලොකු කම්මුල් පාරක් කන්න වෙයි . හේතුව "මෝමො" කියන්නේ "Thighs" නැත්නම් කෙනෙක්ගේ කකුලේ කලවා ප්‍රදේශයට .

ඒ නිසා ඔයා වැරදිලා හරි "මිකෝටො සන් නො මෝමො ඔයිෂී දෙසු" කියලා කිව්වොතින් ඒකෙන් කියන්නේ "Mikoto's thighs are delicious" නැත්නම් "මිකෝටොගේ කලවා ප්‍රදේශය රහයි" කියලා .

ඉතින් Japanese Pitch Accent සහ Moras(モーラ) කියන දේ නම් ජපන් භාෂාව ඉගෙනගද්දී වැදගත්. නැත්නම් ඉතින් ඔයාට කියන්න ඕන වචනය වැරදි Pitch Accent එකට උච්චාරණය කරොතින් ගුටි කන්න තමා වෙන්නේ ඉතින්. 

"ඇයි අඩේ..... මොකාද අඩේ මේ Japanese Pitch Accent එක හදුන්වා දුන්නේ? " කියලා ඔයා ඇහුවොතින් ඒකට උත්තරය නම් චීනය......

ජපානයේ හෙයි-අන් යුගයේදී ජපානයට චීනයෙන් හුගක් බලපෑම් එල්ල වූ නිසා චීන භාෂාවේ තිබු සමහර ලක්ෂණ ජපන් භාෂාවටත් ආවා.  ඉන් එක් ලක්ෂණයක් වුයේ චීන භාෂාවේ තිබු Tonal ගතියයි. එම නිසා අදටත් වුනත් චීන භාෂාව "Tonal Language" එකක් විදියට තමා හදුන්වන්නේ.

Tonal Language එකක් කියන්නේ මොකද්ද කියලා දන් නැත්නම්  ඒක Japanese Pitch Accent එකට පොඩ්ඩක් සමානයි හැබැයි ඊටත් වඩා අන්තයි සහ අමාරුයි . උදාහරණයක් ලෙස චීන භාෂාවෙන් අපි "ගුරුවරයාට" හදුන්වන වචනය ගමුකෝ. 

ඒ වචනය තමා "ලාඔශී (老师)". දැන් ඔයා මේ "ලාඔශී" වචනය කියලා ඔයාගේ ගුරුවරයාව ඇමතුවොතින් හරි නේ නේ ??? නෑ. ඒක එහෙම කිව්වාට වඩා ලේසි නෑ...

දැන් ඔයාගේ ගුරුවරයාව අමතන්න ඕනේ නම් ඔයා "ලාඔශී" කියන වචනය ගෞරවාන්විත Tone එකකට කියන්න ඕනේ . ඒ Tone එක නැතුව "ලාඔශී(老式)" කියලා ඔහේ කිව්වොතින් ඒකේ තේරුම වෙන්නේ "Old Fashioned" නැත්නම් ඔයා "හණමිටි අදහස් දරන කෙනෙක්" කියලා . ඔයා එතකොට "ලාඔශී(老实)" කියලා ගැඹුරු Tone එකකින් කිව්වොත් ඒකේ තේරුම "Naive" නැත්නම් "පණ්ඩිතයි" කියන තේරුම . ඒ නිසා චීන නැත්නම් ජපන් කතා කරද්දි පිළිවෙලින් ඔයාගේ Tone එක සහ Pitch Accent එක ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔයාට කියන්න ඕන වචනය වෙනුවට වැරදි තේරුමක් තියෙන වචනයක් කියවෙවි .

ඉතින් හෙයි-අන් යුගයේදි ජපන් භාෂාවට එසේ වෙනස්කම් සිදුවීමෙන් පසු ආයෙත් එය වෙනස් වුයේ ක්‍රි.ව.1185 සිට ක්‍රි.ව.1600 කාලයේදී පෙරකාලීන මධ්‍යම ජපන් භාෂාව සිට පසුකාලීන මධ්‍යම ජපන් භාෂාවට වෙනස් වීමෙන්ය . පසුකාලීන මධ්‍යම ජපන් භාෂාව(Late Middle Japanese/中世日本語) වර්ග 2කට බෙදෙනවා . ඒ තමා කමාකුරා යුගයේ (Kamakura Period/鎌倉時代) පසුකාලීන මධ්‍යම ජපන් භාෂාව සහ මුරොමාචි යුගයේ (Muromachi Period/室町時代) පසුකාලීන මධ්‍යම ජපන් භාෂාවයි . කමාකුරා යුගයේ(ක්‍රි.ව.1185-ක්‍රි.ව.1333) සහ මුරොමාචි යුගයේ(ක්‍රි.ව.1333-ක්‍රි.ව.1573) ජපානයට විදෙස් රටවල්වලින් හුගක් ආක්‍රමණ එල්ල වු නිසා හුගක් විදේශිය භාෂාවල වචන ජපන් භාෂාවට එකතු වුනා. එම විදෙස් ආක්‍රමණකයින් යටතේ මොංගෝලියානු අධිරාජ්‍යය, චීනයේ යුවාන් රාජධානිය සහ කොරියාවේ නොයෙකුත් රාජධානිද අයත් වුනා .

මුරොමාචි යුගයට නැතහොත් අෂිකාගා ෂෝගනේට් යුගයට (Ashikaga Period/足利時代) සමගාමීව සෙන්ගොකු යුගයද (Sengoku Period/戦国時代) සිදු වු අතර එම කාලයේ ජපානය පුරාවටම විවිධාකාරයේ සිවිල් යුද්ධත් සිදු වුනා . මෙම කාලයේ ජපන් භාෂාවේ Kyoto Dialect, Tanegashima Dialect සහ Osaka Dialect වැනි Dialects හුගක් බිහි වු අතර යාමාටො ජාතියට අයත් සමුරායිවරු රියු-ක්‍යුවැන් ජාතියට අයත් රාජධානි සමගද යුද්ධ කරපු නිසා ජපන් භාෂාවේ ශබ්ද කෝෂයට රියු-ක්‍යුවැන් භාෂාවේ සමහර වචනද ඇතුළත් වු අතර රියු-ක්‍යුවැන් භාෂාවේ ශබ්ද කෝෂයට ජපන් භාෂාවේ සමහර වචනද ඇතුළු වුනා . සෙන්ගොකු යුගයේ (ක්‍රි.ව.1467-ක්‍රි.ව.1615) යාමාටො සෙබළන් සහ රියු-ක්‍යුවැන් සෙබළන් අයිනු ජාතියත් සමගද සුළු සුළු යුද ගැටුම් වු නිසා ජපන් සහ රියු-ක්‍යුවැන් භාෂාවලට අයිනු භාෂාවේ වචනද ආ අතර අයිනු භාෂාවටද සමහර ජපන් වචන සහ රියු-ක්‍යුවැන් වචන මිශ්‍ර වුනා .

හැබැයි මේ කාලේම වගේ එක් විදේශිකයින් කොට්ඨාශයක් ජපන් භාෂාවේ ලොකු වෙනස්කමක් කරා . එම විදේශිකයින් වුයේ අපේ රටටත්, ඉන්දියාවටත් සහ ජපානයටත් වුනත් මුලින්ම ආ යුරෝපීයයන් වන පෘතුගීසින්ය . 
ඔය කට්ටිය ලෝක ඉතිහාසය දන්නවා නම් ඔය කට්ටිය දන්නවා බොහෝ වේලාවට සැම ආසියාතික රටකට පාහේ මුලින්ම මුණ ගැසුණු යුරෝපීය ජාතිය වන්නේ පෘතුගීසින්ය. ඊට හේතුව වුයේ ඒ වන විට සිටි පාප්වහන්සේ රෝමානු කතෝලික ධර්මය ප්‍රචලිත කිරිමට උදෙසා පෘතුගාලයේ රජුට පෘතුගීසි ගවේෂකයන් පෙරදිග දෙසට ආසියාවට  යන්නැයි අණ දුන් නිසා වන අතර ස්පාඤ්ඤයේ රජුට ස්පාඤ්ඤ ගවේෂකයන් පසුදිග දෙසට ඇමරිකා මහාද්වීපවලට යන්නැයි අණ දුන් නිසායි.

ඒත් ඉතින් ඇත්ත කියමු. මේ අයට "ගවේෂකයන්" කියලා කිව්වාට ඒ අයගේ අරමුණ වුනේ රෝමානු කතෝලික ධර්මය ප්‍රචලිත කරලා අපිත් එක්ක සුහදව වෙළදාම් කරන්න විතරක් නෙවෙයි . ඒ අයට ඕන වුනා ඒ අයගේම අධිරාජ්‍යයන් හදාගෙන යටත් විජිත පුළුවන් තරම් අල්ලගෙන ඒ රටවල් සුරා කාලා ඒ අයගේ රට වැඩි දියුණු කරන්නත් . හැබැයි වාසනාවකට ඒ අය ජපානයේ එසේ ආක්‍රමණයක් කිරිමට බැරි වුනා හේතුව භුගෝල විද්‍යාත්මකව ජපානය යුරෝපයෙන් අනෙක් ආසියාතික රටවල්වලට සාපේක්ෂව හුගක් ඈතින් පිහිටීම නිසා එවැනි ආක්‍රමණයක් කරලා අසාර්ථක වුනොතින් ඔවුන්ට තව මුදල් පාඩු වෙයි යැයි බියක් තිබු නිසා .

ඒ නිසා පෘතුගීසින් ජපානයේ ඔවුන්ගේ ආක්‍රමණයක් දියත් නොකරත් ඔවුන් ජපානය සමග වෙළදාම් කිරිම  සහ ජේසුයිට් හා ෆ්‍රැන්සිස්කාන නිකායේ පියතුමන් මගින් ජපානයට රෝමානු කතෝලික දහම හදුන්වා දීම සිදු කරනවා . (ඔය කට්ටියට ලංකා ඉතිහාසයත් මතක නම් මතක ඇති මේ ජේසුයිට් සහ ෆ්‍රැන්සිස්කාන පුජක නිකායයන්ම තමයි අපේ රටටත් රෝමානු කතෝලික ධර්මය හදුන්වා දෙන්නේ)

ඉතින් ඒකෙන් පස්සේ හුගක් පෘතුගීසි වචන ජපන් භාෂාවේ ශබ්ද කෝෂයට ඇතුළු වුනා. ඊට උදාහරණ ලෙස,

  • පන් (パン)=පාන් ඇතුළු බේකරි නිෂ්පාදන
  • බොටන් (ボタン)=බොත්තම
  • ෆුරසුකො (フラスコ)=ප්ලාස්කුව
  • කොප්පු (コップ)=කෝප්පය
  • කුරුසු (クルス)=කුරුසය
  • නතරු (ナタル)=නත්තල
  • ඔරුගන් (オルガン)=ඔර්ගන් සංගීත භාණ්ඩය
  • පරයිසො (パライソ)=පාරාදීසය
  • ෂබොන් (シャボン)=සබන්

දක්වන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියට තේරෙනවා ඇති ඉහත ජපන් වචන අපේ සිංහල භාෂාවේ ඊට සමානව තේරුම් තියෙන වචනවලටත් හුගක් සමානයි කියලා . ඊට හේතුව මේ ජපන් සහ සිංහල වචන ඔක්කොම අපිට පෘතුගීසින් හදුන්වලා දුන්න වචන . ඉහත වචනවලට අනුප්‍රාණය දුන් පෘතුගීසි වචනද පිළිවෙලින් වන්නේ pão, botão, frasco, copo, cruz, natal, órgão, paraíso සහ sabãoය.

මෙම ජපන් වචනවලට ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම වචන ලිවීමට හිරගනා, කටකනා සහ කන්ජි අක්ෂර වර්ග 3න් ඕනම එකක් පාවිච්චි කිරිමට හැකි වීමයි.

මෙම කාලයේදීම ජපානයට ලන්දේසින්ද ආ අතර ඔවුන්ද ඔවුන්ගේ ලන්දේසී වචන  කිහිපයක් ජපන් භාෂාවට හදුන්වා දුන්නා. ඊට උදාහරණ ලෙස,

  • කෝහී (コーヒー)=කෝපි
  • කොක්කු (コック)=කෝකියා
  • පිසුතොරු (ピストル)=පිස්තෝලය
  • පොන්පු (ポンプ)=පොම්පය
  • රන්පු (ランプ)=ලාම්පුව

වැනි වචන ගන්න පුළුවන්. මෙම ජපන් සහ සිංහල වචනවලට අනුප්‍රාණය දුන් ලන්දේසී වචන පිළිවෙලින් වන්නේ koffie, kok, pistool, pomp සහ lampය . මේ ජපන් වචනද පවා හිරගනා, කටකනා සහ කන්ජි අක්ෂර මාලාවලින් ලියන්න පුළුවන් හැබැයි මේ වචන වඩාත්ම යෝග්‍ය කටකනාවලින් ලියන එක  හේතුව මේ පෘතුගීසි සහ ලන්දේසී වචන විදේශිය භාෂාවකින් එන නිසා. 

ඉතින් සෙන්ගොකු යුගයේදි සහ මුරොමාචි නැත්නම් අෂිකාගා ෂෝගනේට් යුගයේදි ජපන් භාෂාවට එසේ වෙනස්කම් වුනාම පස්සේ ආයෙත් එහි වෙනස්කමක් වුනේ ඊඩෝ යුගයේදි (Edo Period/江戸時代) නැත්නම් ටොකුගාවා ෂෝගනේට් යුගයේදි (Tokugawa Shogunate Period/徳川時代)ය . ඉස්සර කාලේ ඉදන්ම Standard Japanese නැත්නම් සාමාන්‍යයෙන් කතා කරපු ජපන් Dialect එක තමා Kansai Dialect🔊 එක කියන්නේ හැබැයි ටොකුගාවා ෂෝගනේට් යුගයේදි(ක්‍රි.ව.1600-ක්‍රි.ව.1867) ඒ Standard Japanese Dialect එක Kansai Dialect එක සිට Edo Dialect එක නැත්නම් Tokyo Dialect එකට මාරු වුනා. ඒ නිසායි අදටත් වුනත් ජපානයේ Standard Japanese එක Tokyo Dialect එක වුනත් Kansai Dialect එකෙන් කතා කරන ජපන් අය තාම ඉන්නේ. 

ආයේ අවුරුදු 267ක් යනකන්ම ජපන් භාෂාවේ ලොකු වෙනසක් වුන් නෑ හේතුව ටොකුගාවා ෂෝගනේට්වරු ජපානයේ පාළුකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා . මෙම ප්‍රතිපත්තිය අනුව ජපානය පිටරටවල් සමග වෙළදාම් කිරිම  නවත්වනවා පමණක් නොව වෙන කිසිම රටක් සමග කිසිම යුද්ධයකට හෝ විදෙස් සබදතා පැවැත්වීම නොකර ඉන්නවා . ඒ වන විට ටොකුගාවා ෂෝගනේට්වරයා සහ ඔහුගේ හමුදාවන් මුළු ජපානයම ඔවුන්ගේ යටතේ එක්සේසත් කර තිබු නිසාද එම කාලය ඇතුළත ජපානයේ සිවිල් යුද්ධයක්ද සිදු වුයේද නැත . ඒ නිසා මේ කාලේ ජපන් භාෂාවේ ලොකු වෙනස්කම් සිදු නොවු අතර ජපානයේ මෙම කාලය අද කාලේ ඉතිහාසඥයෝ පවාද "ජපානයේ ස්වර්ණමය යුගය" කියලා හදුන්වනවා .

පස්සේ හැබැයි ටොකුගාවා ෂෝගනේට් පරම්පරාවේ අවසාන ටොකුගාවා ෂෝගනේට්වරයා නැවත ජපානය ලෝකයට විවෘත කරා හේතුව ඇමරිකානු  නාවික හමුදාවන් බල කරා ජපානයට නැවත ඔවුන්ගේ වෙළෙද මාර්ග විවෘත කරන්න කියලා . ඊට පස්සේ ජපානයේ බෝෂින් යුද්ධය (Boshin War/戊辰戦争) කියලා ජපානයේ සිවිල් යුද්ධයක් ඇති වු අතර එයින් ටොකුගාවා ෂෝගනේට්වරයා පරාජය වී ජපන් අධිරාජ්‍යයා වන මෙයිජි ජපානයේ පාලකයා වී ජපානයේ ඩයට් සභාව  (National Diet/国会) සමග මෙයිජි යුගය (Meiji Period/明治時代) නම් නව යුගයක් ජපානයේ ආරම්භ කරනවා 🌟.

එම කාලයේ ජපානය කාර්මිකරණය අතින් හුගක් දියුණු වු අතර අවුරුදු 267කින් පසු රටම නැවත ලෝකයට විවෘත කරපු නිසා හුගක් ඉංග්‍රිසී සහ ජර්මන් වචන ජපන් භාෂාවේ ශබ්ද කෝෂයට එකතු වුනා . ඉතින් රටක කාර්මිකරණය වැඩි  වෙනකොට ඒ අයට හුගක් ස්වාභාවික සම්පත් ඕන වුනා ඒ අයගේ කර්මාන්ත පවත්වාගෙන යන්න. ජපානය කියන්නේ හුගක් ස්වාභාවික සම්පත්වලින්  පොහොසත් නැති රටකුත් වන නිසා ඒ අය තිරණය කරා ඒ කාලේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, රුසියානු සහ ජර්මන් අධිරාජ්‍යයන් වගේ ජපානයත් අධිරාජ්‍යයක් කරන්න .

ඉතින් ඒ අය ඒ අයට ආසන්න, ගමන් කිරිමට පහසු සහ අල්ලන්න පුළුවන් දුපත් ටිකක් ඇල්ලුවා . ඒ දුපත්වලට අයත් වුන එක් දුපත් සමුහයක් තමා රියු-ක්‍යුවැන් ජාතියට අයත් දුපත් . මේ වන විට රියු-ක්‍යුවැන් දුපත් නැතහොත් රියු-ක්‍යු දුපත් (Ryukyu islands/琉球諸島) වෙනස්ම සංස්කෘතියක් සහ භාෂාවක් තිබු අතර එම දුපත් පාලනය කරන ලද්දේ රියු-ක්‍යු රාජධානිය (Ryukyu kingdom/琉球王国) නම් රාජධානියක් විසිනි . එහි සංස්කෘතිය චීන සංස්කෘතිය සහ ජපන් සංස්කෘතියෙහි සමිශ්‍රණයක් වන අතර එම දුපත්වල ඉතිහාසය ජපානයේ ප්‍රධාන ජපන් දුපත් වන හොන්ෂු, හොකයිඩො, ෂිකොකු සහ ක්‍යුෂු යන දුපත්වලින් ඈත් වෙලා තිබුනේ .

එහෙත් ක්‍රි.ව.1609දී ජපානයේ සත්සුමා වලව්ව (Satsuma Domain/薩摩国土) විසින් කළ ආක්‍රමණයෙන් රියු-ක්‍යු රාජධානිය පරාජය වු නිසා රියු-ක්‍යු රාජධානිය ඇතුළු රියු-ක්‍යු දුපත් සමුහයම ජපානයේ සත්සුමා වලව්ව යටතේ තිබු රූකඩ රාජධානියක් බවට පත් වුනා . රියු-ක්‍යු දුපත්හි එක් දුපතක රියු-ක්‍යු රාජධානිය වෙනුවෙන් නිදහස් අරගලයක් දියත් කර තිබුණත් එය අසාර්ථක වුනා හේතුව සත්සුමා වලව්වේ සමුරායිවරු ඒ වන විට හුගක් ශක්තිමත් වු නිසා . කෙසේ වුවත් තව අවුරුදු 276ක් යනකන් රියු-ක්‍යු රාජධානිය සත්සුමා වලව්ව යටතේ රූකඩ රාජධානියක් ලෙස තිබුණත් එම රාජධානිය හුගක් ඔවුන්ගේ ගනදෙනු කරේ චීනය සමගයි . ඒ නිසායි අදටත් වුනත් රියු-ක්‍යුවැන් සංස්කෘතිය ජපන් සහ චීන සංස්කෘති දෙකේ සමිශ්‍රණයක් වුනත් එහි සංස්කෘතිය බොහෝ දුරට චීන සංස්කෘතියට ආසන්න වෙන්නේ. 

ඉතින් ඒ වගේ අවුරුදු 276ක් යනකන් රියු-ක්‍යුවැන් මිනිස්සු සාමකාමීව ඉද්දි තමා ක්‍රි.ව. 1879දී මෙයිජි අධිරාජ්‍යයා යටතේ අලුතින්ම ප්‍රතිසංස්කරණය වු ජපන් අධිරාජ්‍යය රියු-ක්‍යු දුපත් මුළුමනින්ම යටත් කරගෙන රියු-ක්‍යු රාජධානිය සම්පුර්ණයෙන්ම බිදවට්ටනවා . පසුව ඔවුන් එම රියු-ක්‍යු දුපත්හි නම "ඔකිනාවා දුපත්" (Okinawa Prefecture/沖縄県) ලෙස නාමකරණය කළා පමණක් නොව ඒ වන විට සිටි ජපන් හමුදාවන් එම රියු-ක්‍යු දුපත්වල සිටි රියු-ක්‍යුවැන් මිනිසුන් සමුලඝාතනය කරත් එක්ක . ඇයි ඒ අය එසේ යුද අපරාදයක් කරේ කියන එකට හේතුව ඇහුවොතින් ඒකට හේතුව ජපානයේ අලුතින්ම හදුන්වාදුන් එක් ආගමක් නිසා. ඒ ආගමේ නම වුයේ State Shinto(国家神道)ය. 

මෙම "State Shinto" නම් ආගම අපි අද දන්න හෝ අපි ඉස්සෙල්ලා කතා කරපු ෂින්ටෝ ධර්මය හෝ මහායාන බුදු ධර්මය හෝ සෙන් බුදුදහම නෙවෙයි . මෙම ආගමට අනුව ජපානයේ අධිරාජ්‍යයා ජපානයේ ජීවමාන සර්ව බලධාරි දෙවි කෙනෙකු වන අතර ඔහුව ආරක්ෂා කිරිම හෝ වාද නොකිරිම හෝ වන්දනාමාන කිරිම සැම ජපන් පුරවැසියෙකුගේම වගකීමයි යැයි කිව්වා.  ඒත් එක්කම මේ State Shinto නම් ආගම අනුව ජපානයේ යාමාටො ජාතිය ලෝකයේ සිටින උතුම්ම ජාතිය යැයි පිළිගත් අතර ලෝකයේ අනෙක් සියළුම ජාතින් නෂ්ට වී යා යුතුය කියා විශ්වාසයක් තිබුණා . කොටින්ම කිව්වොතින් මේ "ආගම" ආගමක් නොව, ඒ වන විට ජපානයේ තිබු අන්තවාදි දේශපාලන මතවාදවල එකතුවක් . මෙම දේශපාලන මතවාදය හිට්ලර් යටතේ තිබු ජර්මනියේ නාසිවාදයට සහ වර්තමාන උතුරු කොරියාවේ Juche නම් දේශපාලන මතවාදයට සමාන වු අතර  මේ කාලේම තමා ජපානය ඇනිමේ සහ මන්ගා යන දේවල් ලෝකේට හදුන්වා දෙන්නේ. ඒත් ඉතින් ඒ කාලේ ඇනිමේ සහ මන්ගා බහුතරයක්ම ජපානයේ දේශපාලන න්‍යාය පත්‍රය සහ මේ State Shinto නම් දේශපාලන මතවාදය තමා හුගක් Promote කරේ . නිකන් අපි ඉස්සෙල්ලා කතා කරපු උතුරු කොරියානු ඇනිමේ වගේ . (ඔය කට්ටියට උතුරු කොරියානු ඇනිමේ ගැන දැනගන්න කැමති නම් මෙතනින් පිවිසෙන්න )

ඉතින් ඒ වගේ අසත්‍ය විශ්වාසයක් සහ ඇදැහීමක් ඒ කාලේ ජපන් පුරවැසියොන්ට ජපන් ආණ්ඩුව විසින් කා වැද්දු නිසා ජපන් හමුදාවන් ඒ අය යටත් කරගන්නා හැම රටේම පාහේ එම රටවල්වල මිනිසුන් සමුලඝාතනය කරපු නිසා එම රටවල්වල බොහෝ මිනිසුන් ජපන් භාෂාව ඉගෙනගන්න පටන් ගත්තා ඒ අයගේ ජිවිතය බේරගන්න කියලා . එසේ වීමෙන් රියු-ක්‍යු දුපත්වල Ryukyuan Dialect නම් තවත් ජපන් Dialect එකක් බිහි වු අතර ජපානය විසින් මෙම කාලේම යටත් කරගත් කොරියාවේද වුනත් කොරියානු මිනිසුන් හුගක් අය ජපන් කතා කරන්න පටන් ගත්තා . එහි ප්‍රතිඵලයක් ලෙස හුගක් ජපන් වචන කොරියානු භාෂාවේ ශබ්ද කෝෂයට ඇතුළු වුනා .

ඉන්පසු දෙවන චීන-ජපන් යුද්ධයේදි ජපානය ඒ වන විට චීනයේ අගනගරය වු නැන්කින් (Nanking/南京市) ද යටත් කරගත් නිසා චීන භාෂාවටද ජපන් වචන සහ ජපානය විසින්ම සාදන ලද කන්ජි අකුරුද එකතු වුනා . ඊට හොදම උදාහරණය ලෙස වර්තමාන මහජන චීන සමුහාණ්ඩුවේ චීන භාෂාවෙන් ලියා ඇති නම ගන්න පුළුවන්. එම නම වන්නේ 中华人民共和国ය.

මහජන චීන සමුහාණ්ඩුව නැත්නම් ඉංග්‍රිසියෙන් හැදින්වුවහොත් People's Republic of Chinaහි  මැන්ඩරින් භාෂා නම වන 中华人民共和国හි,

  • 人民 නම් කොටස ඉංග්‍රිසියෙන් "People's" සහ සිංහලෙන් "මහජන" යන තේරුම දෙන අතර,
  • 共和 නම් කොටස ඉංග්‍රිසියෙන් "Republic" සහ සිංහලෙන් "සමුහාණ්ඩුව" යන තේරුම දෙයි.

මේ උඩ කිව්ව වචන දෙකම ජපානය  විසින් සාදන ලද කන්ජි අකුරුවලින් තමා චීන භාෂාවෙන් නැතහොත් මැන්ඩරින් භාෂාවෙන් ලියලා තියෙන්නේ. 

මාඕ-සේතුං යටතේ සිටි කොමියුනිස්ට් හමුදාවන් එවකට චීන ජනාධිපති වී සිටි චියැං-කායි ෂේක්ගේ හමුදාවන් පරාජය කොට  තායිවානය, හොංකොං රාජ්‍යයන් සහ එවකට පෘතුගීසින් යටතේ තිබු මාකාව් ප්‍රදේශය හැර චීනයේ ඉතුරු භුමි ප්‍රමාණයම යටත් කරගෙන මහජන චීන සමුහාණ්ඩුව පිහිටුවද්දි ඒ අයට ප්‍රශ්නයක් මතු වුනා "කොහොමද ඒ අයගේ අලුත් රටේ නම ඒ අයගේ භාෂාවෙන් ලියන්නේ?" කියලා. 

මේ අයට "People's Republic" නැත්නම් "මහජන සමුහාණ්ඩුව" කියන වචනයට මැන්ඩරින් භාෂාවෙන් ලිවීමට නම් අනිවාර්යයෙන්ම අර ජපන් කන්ජි අකුරු  ටික පාවිච්චි කරන්නම වෙනවා ඒත් මේවා ජපානයෙන් ඔවුන්ට ආ අකුරු වන බැවින් ඒ අය හුගක් අකැමති වුනා ඒ අයගේ රටේ නම ඒ අයගේ සතුරෙකු වන ජපානයේ අක්ෂර මාලාවේ අකුරුවලින් ලියන්න . ඊට පස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළේ හුගක් වාද විවාද කරලා වෙන පාවිච්චි කරන්න අකුරු ටිකකුත් නැති නිසා එසේ ඒ අයගේ රටේ නම 中华人民共和国 කියලා මැන්ඩරින්වලින් නම් කරා. 

ඉතින් ජපානය ඔවුන්ගේ අධිරාජ්‍යය මගින් විවිධාකාර ආසියාතික රටවල්වල භාෂාවලට ජපන් වචන එකතු කරද්දි ක්‍රි.ව.1942දී ජපානය ඔවුන්ගේ අධිරාජ්‍යය තවත් ව්‍යාප්ත කිරිමට සදහා ඔවුන් හවායිහි පිහිටි ඇමරිකානු හමුදා සිටි පර්ල් වරායට ප්‍රහාරයක් දියත් කරනවා . මෙතැනින් එහා නම් ඉතින් මොකද්ද වුනේ කියලා විශේෂයෙන්ම කියන්න ඕන් නෑ නේ..... ඒ ප්‍රහාරයෙන් පස්සේ ජපානය හම්බානක ගුටි කනවා ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂයේ රටවල්වලින්.

ඒත් මේ සංග්‍රාමයේදි එක් සටනක් වෙනවා ජපන් හමුදා සහ ඇමරිකානු හමුදා යන දෙගොල්ලෝම විසින් මහා යුද අපරාදයක් කරපු . ඒ තමා ක්‍රි.ව.1945දී වු ඔකිනාවා සටන (The Battle of Okinawa/沖縄戦). බොහෝ ඉතිහාස පොත් මෙම සටන ගැන කතා කරනවා හේතුව මෙම සටනින් පස්සේ තමා රොබට් ඔෆන්හයිමර් නම් භෞතික විද්‍යාඥයා විසින් නිර්මාණය කරන ලද පරමාණු බෝම්බ ජපානයට හෙළන්න ඇමරිකානු ගුවන් හමුදාවලට මාවත හැදුනේ . එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමා ජපන් හමුදා සහ ඇමරිකානු හමුදා යන දෙගොල්ලෝම විසින් රියු-ක්‍යුවැන් ජාතියට වුන අසාධාරණකම් ගැන .

ඔය කට්ටියට දැන් මතක ඇති මෙම රියු-ක්‍යුවැන් ජාතිය වාසය කරපු රියු-ක්‍යු දුපත් තමා දැන් "ඔකිනාවා දුපත්" කියලා නම් කරලා තියෙන්නේ. ඇමරිකානුවන් මෙම දුපත් ආක්‍රමණය කරද්දි ඔවුන් දැනගෙන හිටියේ නෑ ජපානයේ මෙසේ රියු-ක්‍යුවැන් ජාතිය කියලා තවත් ජාතියක් හිටියත් කියලාත් . ඉතින් ඒ අය හිතුවේ ඒ දුපත්වල සිටි සැම කෙනෙක්ම ජපන් කෙනෙක්  කියලා. ඒ නිසා ඇමරිකානු හමුදාවන් වැරදිලා රියු-ක්‍යුවැන් මිනිස්සු හුගකට වෙඩි තියලා මැරුවාත් එක්කම ඔවුන් සිටි නිවාස ආශ්‍රිතව හුගක් බෝම්බ  සහ නාවික ප්‍රහාරයන්  ඇමරිකානු හමුදාවන් විසින් එල්ල කරා .

ඒත් එක්කම ජපන් හමුදාවන්වුත්  මෙසේ වැඩකුත් කරා. ඒ අය කිව්වා ඒ දුපත්වල සිටි සැම සෙබළෙකුටම සහ සිවිල් වැසියෙකුටම ඇමරිකාව  නම් සතුරාට යටත් නොවී ඔවුන් ඔවුන්ගේම සියදිවි හානි කරගන්න කියලා . ඒකට හේතුව මම ඉස්සෙල්ලා කිව්ව State Shinto නම් ආගමක් මුවාවින් සාදන ලද දේශපාලන මතවාදය නිසා . ඉතින් ඒක නිසා හුගක් රියු-ක්‍යුවැන් අය සියදිවි හානි කරගත්තා වගේම සියදිවි හානි කර නොගත් කෙනෙකු සිටියේ නම් ඔවුන්ව ජපන් හමුදා විසින්ම ඝාතනයට ලක් වුනා .

ඉතින් මේ වගේ කවුරුත් අද වෙනකන්වත් එච්චර කතා කරන් නැති මහා ඛේදවාචකයක් වුනාම පස්සේ රියු-ක්‍යු දුපත්වල ජනගහනයෙන් භාගයකට වඩා ප්‍රමාණයක් මෙම සටනේදි ඔවුන්ගේ ජිවිතවලින් සමුගත්තා . මෙම සටනින් නැති වු ජනගහනයෙන් බහුතරයක් රියු-ක්‍යුවැන් ජාතින් වන අතර මෙයින් පසු රියු-ක්‍යුවැන් ජාතිය පමණක් නොව රියු-ක්‍යුවැන් භාෂාවද නෂ්ට වී යන භාෂාවක් බවට පත් වුනා .

රියු-ක්‍යුවැන් භාෂාවේ අද තත්ත්වය කෙසේද කියා ඇහුවොතින් එච්චර ලොකු වෙනසක් නෑ.... රියු-ක්‍යු දුපත් අදටත් පවා ජපානයට අයිති වන අතර ජපානයේ මහා ජාතිය වන යාමාටො ජාතියේ භාෂාව නිහොන්ගො(日本語) නිසා ඒ අය බල කරනවා ඒ රටේ සැම කෙනෙක්ටම පාහේ එම භාෂාවම පමණක් ඉගෙනගන්න කියලා. හේතුව ජපන් භාෂාව සුරක්ෂිත කළ යුතුයි කියා යාමාටො දේශපාලඥයන් සිතන නිසා . මේකෙන් ඉතින් රියු-ක්‍යුවැන් භාෂාව විතරක්ම නෙවෙයි . අයිනු භාෂාවද වුනත් මේකෙන් නෂ්ට වී යාමේ තර්ජනයකට මුහුණ දීලා තියෙනවා .

සටහන:
මෙහිදි "දේශපාලඥයන්" යන වචනය පාවිච්චි කරත් සැම දේශපාලඥයෙක්ම එසේ නොවේ . යාමාටො මිනිසුන් සියල්ලම පාහේ මෙය ගැන දැනුවත් අතර ඔවුන් විවිධාකාර ප්‍රතිසංස්කරණ කරනවා මේ රියු-ක්‍යුවැන් භාෂාව පමණක් නොව අයිනු භාෂාවද සුරක්ෂිත කරන්න . දැනට ඔවුන් ජපන් සහ රියු-ක්‍යුවැන් භාෂා දෙකෙන්ම පුවරුද නිර්මාණය කරන අතර එම පුවරුවකට උදාහරණයක් පල්ලෙහා දාන්නම්. 

රියු-ක්‍යුවැන් භාෂාවෙන් සහ ජපන් භාෂාවෙන් ලියන ලද ට්‍රැෆික් ආරක්ෂක පුවරු

මැද පුවරුව (ජපන් භාෂාව)

වම් සහ දකුණු පුවරු (රියු-ක්‍යුවැන් භාෂාව)



ඉතින් උඩ කිව්ව දේවල් කියෙව්වාමත් කාවහරි මතක් වුනාද?  ඔව් ඔව් අපේ රටත් නිදහසෙන් පස්සේ මේ වගේ වැඩක් කරා මතක ඇති නේ සිංහල භාෂාව පමණක්ම "එකම රාජ්‍ය භාෂාව" කරලා . ඒකත් මුල් කරගෙනනේ පස්සේ අවුරුදු 26ක යුද්ධයකුත් ආරම්භ වුනේ . යම්කිසි රටකට ආවේණික යම්කිසි භාෂාවක් සුරක්ෂිත කරන එක නම් හොදයි. ඒක ඇත්තටම සංස්කෘතිකයි සහ එකගයි . ඒත් එසේ සුරක්ෂිත කරන ක්‍රමයෙන් වෙනත් භාෂාවක් සහ සංස්කෘතියක් විනාශ කිරිමටත් අපේක්ෂාවක් තියෙනවා නම් එන්න ඒ ක්‍රමය නම් සම්පුර්ණ වැරදියි. 

හැබැයි වාසනාවකට අපේ රටේ දැන් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම මේ වෙනකොට එක හා සමානව රාජ්‍ය භාෂාවන් සේ සලකනවා . හැබැයි ජපානයේ තාම එසේ රියු-ක්‍යුවැන් භාෂාවට ප්‍රමුඛත්වයක් නොදෙන නිසා ඉස්සරහදී මහා ලොකු අකරතැබ්බක් වෙන්නත් පුළුවන් . ආයේ කියන්නත් ඕනේ දැන් මේ රියු-ක්‍යු දුපත්වල ඇමරිකානු හමුදා කදවුරුද තියෙන නිසා සමහරක් ගොන් සහ අවජාතක ඇමරිකානු සෙබළුන්  රියු-ක්‍යු දුපත්වල පදිංචි කාන්තාවන් පැහැරගෙන දුෂණය කර ඝාතනය කිරිමේ  පුවත්ද හුගක් වාර්තා වෙන නිසා රියු-ක්‍යු දුපත් තුළ දැනටම ජපානය සහ ඇමරිකාව යන රටවල් දෙකටම විරෝධයකුත් මතු වෙලා තියෙනවා .

ඒ නිසා මේ ප්‍රශ්නය මුල් කරගෙන අපේ රටේ වුන යුද්ධය වගේ යුද්ධයක් දක්වා ජපානය  ගමන් නොකරයි කියලා සහ ඔවුන්ගේ ආණ්ඩුව අවශ්‍ය නිවැරදි ක්‍රමවේද අනුගමනය කරයි කියලා අපි අපේක්ෂා කරමු. 

කොහොමහරි අපි නැවතත් අපේ මාතෘකාව වෙත යොමු වෙලා දැනටමත් මේ මහ මෙරක් වගේ පේන ලිපිය ඉවර කරමුකෝ . ඉතින් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයන් ජපානය තාවකාලිකව යටත් කරගෙන හිටියා හේතුව ඒ අය සෝවියට් රුසියාවට එරෙහිව සීතල යුද්ධය ආරම්භ කළ නිසා ඒ අයට ඕන වුනා ජපානය පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් කරන්න . එසේ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් කිරිමට නම් ඇමරිකානුවන් හිතුවා ජපන් අයගේ සාක්ෂරතාව පුළුවන් තරම් වැඩි කරොතින් ජපානයට ලේසියෙන් දියුණු විය හැකියි කියලා . එසේ ජපානයේ සාක්ෂරතාව වැඩි කිරිමට උදෙසා ඇමරිකානුවන්ම ජපන් භාෂාව ඉගෙනගෙන එයින් ඔවුන්ට ජපන් භාෂාව ගැන ඉගෙනගන්න මොන වගේ දේවල්ද ආමාරු වෙන්නේද යැයි බැලුවා. 

එතකොට තමා ඇමරිකානු අයට කන්ජි කියන දේ මීටර් වුනේ . ඔය කට්ටිය අදටත් වුනත් ජපන් භාෂාව ඉගෙනගන්නා කෙනෙක්ගෙන් ඇසුවොත් කුමක්ද ජපන් භාෂාවේ ඉගෙනගන්නම ආමාරුම දේ කියලා බොහෝ වේලාවට එම උත්තරය වන්නේ කන්ජි අක්ෂර මාලාවයි . ඇමරිකානු අය මේ කන්ජි අකුරු කොච්චර ආමාරුද යැයි දැනගත් නිසා ඔවුන් හිතුවා මෙම කන්ජි අකුරු සම්පුර්ණයෙන්ම තහනම් කරලා දාන්න . ඔවුන් මෙම තහනම් කර දැමිමට හේතුව යැයි කිව්වේ මෙම අක්ෂර මාලාව නිසා ජපන් අයගේ සාක්ෂරතාව අඩු වීමේ  අවදානමක් ඇති අතර මෙම කන්ජි අකුරු හුගක් චීනයෙන්🇨🇳 ආපු අක්ෂර නිසා ජපානය චීනයට සමාන අදහස් දරන්න පටන්ගෙන වියට්නාමය සහ කියුබාව වගේ තවත් කොමියුනිස්ට් රාජ්‍යයක් වෙයි කියලා. (මතක තියාගන්න මේ වෙද්දි චීනයත් කොමියුනිස්ට් රාජ්‍යයක් වුන නිසා  මේ අයට ලොකු බියක් ඇති වුනා ජපානයත් එසේ වෙයිද කියලා. ආයේ මේ අය පේන පේන හැම මගුලකටම ඔහේ "කොමියුනිස්ට්" කියන්නත් පටන් ගත්තා මේ කාලේ....)
ඒත් ජපන් මිනිස්සු ඇමරිකානුවන්ට පෙන්නුවා මෙම කන්ජි අක්ෂර මාලාව නිසා ඔවුන්ගේ සාක්ෂරතාව අඩු නොවන අතර මෙයින් කිසිසේත්ම ඔවුන් චීනය වගේ කොමියුනිස්ට් වෙන්නෑ කියලා . ඒක ඒ අය ඇමරිකානුවන්ට පෙන්නුවෙත් මුළු ජපන් දිවයින පුරාවටම කන්ජි පරික්ෂණයක් කිරිමෙන්ය . එම පරික්ෂණයෙන් 99%ක් පමණ සමත් වු නිසා මෙයින් ඔවුන් පෙන්නුවා ජපන් මිනිස්සුන්ට කන්ජි අක්ෂර මාලාව හොදට පුළුවන් කියලා . ඒ නිසා කන්ජි අක්ෂර මාලාව ඇමරිකානුවන් විසින් තහනම් නොකරන ලද අතර අදටත් වුනත් ජපානයේ සාක්ෂරතාව 99%කි .

ඉතින් කන්ජි අක්ෂර මාලාව තහනම් නොවුවත් ජපන් භාෂාවේ තවත් ලොකු වෙනස්කමක් සිදු වුනා මේ කාලේ. ඒ තමා ජපන් භාෂාව වමේ සිට දකුණට ලිවීමට හැකි වීමයි . මෙච්චර කල් ජපන් භාෂාව ලිව්වේ උඩ සිට පහළට හෝ දකුණ සිට වමට නිසා මෙය ලොකු වෙනස්කමක් වුනා ජපන් භාෂාවට වුනු. ඇයි ඒ අය මෙච්චර කල් ජපන් භාෂාව එසේ උඩ සිට පහළට සහ දකුණ සිට වමට ලිව්වේ කියන එකටත් හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව තමා ඒ අයගේ මුතුන් මිත්තන් Scrolls සහ උණ බම්බු  පාවිච්චි කරලා ජපන් භාෂාව ලියු නිසා.

ඔය කට්ටිය Scroll  එකක් කියන්නේ මොකද්ද කියලා දන් නැත්නම් ඒකට උදාහරණයක් පල්ලෙහා දාන්නම්. 




 ඉතින් මෙවැනි Scroll එකක හෝ උණ බම්බුවක ලියද්දි වමේ ඉදන් දකුණට හෝ දකුණේ ඉදන් වමට ලියාගෙන ගියොතින් Scroll එක එක දිගටම දිග හැර හැර ලියන්න වෙන නිසා සහ උණ බම්බුවක ලිව්වොතින් ඉක්මනටම ඉඩ නැති වෙන නිසා ඒ අය උඩ සිට පහළට තමා ජපන් භාෂාව ලිව්වේ. මේ නිසා තමා මේ අය ඒ අයගේ භාෂාව ලියද්දි Spaces නැත්නම් වචන අතර ඉඩ එහෙමත් තියන් නැත්තේ . අද කාලේ ජපන් භාෂාවෙන් තියෙන හුගක් මන්ගා වුනත් එහෙම නේ. ඒවා බහුතරයක පාහේ වාක්‍යයන් උඩ සිට පහළට කියවිය යුතු අතර Panels දකුණේ සිට වමට තමා මන්ගා එක කියවන්න ඕනේ . ජපන් විතරක්ම නෙවෙයි. නැගෙනහිර ආසියාවේ භාෂා බහුතරයක්ම වගේ මේ විදිය අනුගමනය කරේ .

ඉතින් මේ ලෝකේ ඉපදෙන මිනිස්සුන්ගෙන් බහුතරය දකුණත් හුරු මිනිසුන් වීම නිසා සහ ඔවුන් දැනටම Scrollsවල  සහ උණ බම්බුවල  ලියන නිසා ඒ අයගේ භාෂාව ඒ අය දකුණේ සිට වමටත් ලියන්න පටන් ගත්තා. ඒ අය වමේ සිට දකුණට ලියන්න පටන් ගත්තේ එක්තරා තාක්ෂණික උපකරණයක් නිසා. ඒ උපකරණයේ නම තමා පරිගණකය  නැත්නම් ජපන්වලින් හැදින්වුවහොතින් パソコン(පසොකොන්).

පරිගණකවල Font එක වමේ සිට දකුණට Type වෙන නිසා කාලයක් ගියාම ජපන් අය වමේ සිට දකුණට ලියන්නත් පටන් ගත්තා හැබැයි එහෙම කියලා ඒ අය උඩ සිට පහළට ලියන ආකාරය සහ දකුණේ සිට වමට ලියන ආකාරය අතහැරියේ නෑ. ඒ නිසා අදටත් වුනත් මේ ක්‍රම 3ම පාවිච්චි කරලා කැමති ආකාරයකින් ජපන් භාෂාව ලියන්න පුළුවන් .

සටහන:
1980 සහ 1990 දශකවල ආ ජපන් පරිගණක ක්‍රිඩා ඔයා ජපන් භාෂාවෙන්ම Play කරොතින් ඔය කට්ටියට තේරෙනවා ඇති ඒවාහි වචන අතර ඉඩ නැත්නම් Spacesද තියා ඇති අතර එම අකුරු සියල්ලම හිරගනා සහ කටකනාවලින් පමණක් ඇති බව . ඊට හේතුව ඒ වන විට කන්ජි Type කරන්න පරිගණකවල Program කරලා තිබු නැති නිසා වාක්‍යයන් හරියටම තේරුන් ගැනිමට සදහා ඒ අය ජපන් වාක්‍යයන් එසේ Type කරා .

මෙම ලිපියට මුලාශ්‍ර කරගත් YouTube Video එකකුත් අපි පල්ලෙහා දාන්නම්.  ඔය කට්ටියට සමහර විට ඒක තේරෙන්නේ නැති වෙයි හේතුව ඒක සම්පුර්ණයෙන්ම ජපන්වලින් තියෙන නිසා . ඒත් ඔය කට්ටිය මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා නම් ඒ Video එකේ තියෙන ජපන් භාෂාව ඔය කට්ටියට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් .



ඉතින් ඒ තමා ජපන් භාෂාවේ පුළුල් ඉතිහාසය සහ ජපන් භාෂා පවුලේ අනෙකුත් භාෂා වන රියු-ක්‍යුවැන් සහ අයිනු භාෂාවන්හි කෙටි ඉතිහාසය.  ඔය කට්ටිය මේ ලිපිය කියවලා හුගක් දේවල් ඉගෙනගන්න ඇති කියලා අපි හිතනවා. ඔය කටිට්යට සමහර විට කුතුහලයක් ඇති වුනාද දන්නෙත් නෑ නේ මේ ජපන්, රියු-ක්‍යුවැන් සහ අයිනු භාෂාවන් ඉගෙනගන්නත් නේ? 

ඉතින් ඒකට තමා අපි අපේ Language Learning Platform එක හදලා තියෙන්නේ.  ඒක ඕනෑම කෙනෙකුටම පැය 24ම Openද වන අතර අපි ඒක හදලාත් තියෙන්නේ ඔය කට්ටියට ජපන් භාෂාව හෝ ඉංග්‍රිසි භාෂාව හෝ ස්පාඤ්ඤ භාෂාව විනෝදයෙන් යුතුව ඉගෙනගන්න. 

ඔය කට්ටියට එසේ විදේශිය භාෂාවක් ප්‍රගුණ කරගන්න කැමති නම් අපේ NFSL Discordහි Language Learning Platform එකට බැදෙන්න.  පල්ලෙහා ඒකට අදාල විස්තර තියෙන Post එකේ Link එක තියෙනවා.   


එහෙනම් さようならみんな. See you guys soon...👋👋

අපගේ Language Learning Study Group එකේ පලවෙනි හමුව 


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬